‘‘මොරටුවේ එන්නත් සිද්ධියේ දි ජනපති ගත් තීරණය අගය කරනවා‘‘


(සුජිත් හේවාජුලිගේ )

මොරටුව නගරාධිපතිවරයා එන්නත්කරණ වැඩසටහනේදි හැසිරුණු ආකාරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කටයුතු කළ ධනාත්මක ආකාරය අගය කරන බවත් ඔහු රටේ අනෙකුත් ප්‍රබල ප්‍රශ්නවලදීත් හොඳ විනිසුරුවරයකු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවැසූහ.

රටක පාලකයා ජනතා ප්‍රශ්න හොඳින් තේරුම් බේරුම් කරගෙන පුළුල් දැක්මකින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

පාලකයා තමා බලයට පත් කළ ජනතාව ගැන හොඳ අවබෝධයක සිටිමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට හැමවිටම කටයුතු කළ යුතු බව කී ගුණවංශ හිමියෝ සමාජයෙන් මතුවන ප්‍රශ්නවලට සාවධානව ඇහුම්කන් දීමද වැදගත් බව පෙන්වා දුන්හ.

එන්නත්කරණ වැඩසටහනේදි මොරටුව නගරාධිපතිවරයා හැසුරුණු ආකාරය කනගාටුදායක බවත් මේ අවස්ථාවේදී සෞඛ්‍ය අංශ නිලධාරින්ට හැකි උපරිම සහාය දැක්වීම දේශපාලඥයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද ප්‍රබල වගකීමක් බව ඇල්ලේ ගුණවංශ නාහිමියෝ ප්‍රකාශ කළහ.

එවැනි අවාසනාවන්ත සිදුවීම් මින් ඉදිරියට සිදුවීම වැළැක්වීමට රජය ක්‍රියාමාර්ග ගත යුතු බවද උන්වහන්සේ පැවැසූහ.